ර/ බල/ උඩගම මහා විද්‍යාලය බලංගොඩ කලාපයේ පමණක් නොව ලංකාවේ සුපතල නාමයක් දිනූ පාසලකි. අධ්‍යාපන සංවර්ධනය මෙන්ම භෞතික සංවර්ධනය තුළින් දිනෙන් දින දියුණුවට පත්වන අතර ගුණ නැණ බැවින් පිරිපුන් දූවා දරුවන් පිරිසක් දැයට දායාද කරන සුවිශේෂී පාසලකි.
අපගේ විදු මාතාවගේ ඓතිහාසික තොරතුරු සෙවීමේ දී ආකාර දෙකකින් කරුණු සපයා ගත හැකිය. එනම් ජනවහරේ එන තොරතුරු වලින් සහ ඒ ඒ යුගවල විද්‍යාලීය ලොග් සටහන් ඇතුළු ලිපි ලේඛන වලින් ලැබෙන තොරතුරු මාර්ගයෙනි. ක්‍රි.ව. 1900 ට පෙර සිට පැවත එන ඉතිහාසයක් අප විද්‍යාලයට උරුම වන බව සමහර තොරතුරු වලින් දැනගත හැකි වුවත්, ඒවා ලබා ගත හැක්කේ ජනවහරේ එන කරුණු වලින්ය. ක්‍රි.ව. 1916 – 1917, 1918 යන වර්ෂ වල පාඨශාලාව බ්‍රිතාන්‍ය පාලන සමයේ නීතිරීති අනුව පවත්වා ගෙන ගොස් ඇති බවට ලිඛිත සාක්ෂි කිහිපයක් සොයා ගත හැකිය. එමෙන්ම ඒ ඒ යුගවල සේවය කළ මුල් ගුරුවරුන් හා ගුරුවරුන් පිළිබඳ දත්තයන් ද සොයා ගත හැකිය.
ජනප්‍රවාද වල එන තොරතුරු අනුව වත්මන් උඩගම මහා විද්‍යාලය ක්‍රි.ව. 1887 ත් 1890 ත් අතර කාලයේ උඩගම ප්‍රදේශයේ වත්මන් කඩමණ්ඩිය අසල “ගෝමස් බාස්උන්නැහේ ගේ” කම්හලේ මඩුවක ආරම්භ කර ඇති බව උඩගම ශ්‍රී ප්රියදර්ශනාරාමාධිපති, විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද පින්නවල රාහුල හිමිපාණන් වහන්සේගේ අදහසයි. ලැබී ඇති තවත් තොරතුරකට අනුව උඩගම කඩමණ්ඩිය අසල මඩුවක එය ආරම්භ කර ඇති අතර එවිට ළමුන් සිව් දෙනෙකුගෙන් හා එක් ගුරුවරයෙකුගෙන් විදුහල පවත්වා ගෙන ගොස් ඇත. මුල් යුගයේ මඩුවක පවත්වා ගෙන ගිය එම පාසල පසුව අසල පෞද්ගලික නිවසකට ගෙන ගොස් එහි ඉගෙනුම් කටයුතු කර ඇති බවට ජනවහරේ තොරතුරු වලින් අසන්නට ලැබේ.
පාසලේ ඉතිහාසය පිළිබඳ ලිඛිත තොරතුරු සපයා ගැනීම ඉතා අපහසු වුවත් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්ය්ය යටත් විජිතයක්ව පැවති යුගයේ එක් වර්ෂයක එනම් 1916 වර්ෂයේ ශිෂ්‍ය තොරතුරු බිඳක් දැනගත හැකිය. ඒ වන විට ඩබ්.ඒ. පෙරේරා නම් වූ මහත්මයෙකු මුල් ගුරුවරයා ලෙස සේවය කර ඇති අතර, 1913 වර්ෂයේ එතුමා විද්‍යාලයේ පත්වීම ලබා ඇති බව ලේඛන වල සඳහන් වේ. ක්‍රි.ව. 1916 ජනවාරි මස 25 දිනය වන විට පාසලේ නාම ලේඛනයේ සිටි මුළු ළමුන් සංඛ්‍යාව 73 ක් වූ අතර, 1917 ජනවාරි මස 25 වන විට එය 76 ක් වූ බව පෙනේ. එම යුගයේ පවත්වා ඇති පන්ති ලෙස පහළ බාලාංශය, ඉහළ බාලාංශය හා 01 සිට 05 වන පන්තිය දක්වා පන්තිවල ඉගැන්වීම් කටයුතු සිදු කර ඇත. එම පන්තිවලින් පහළ බාලාංශයේ සිට තුන්වන පන්තිය දක්වා කියවීම, ලිවීම හා අංක ගණිතය යන විෂයයන් උගන්වා ඇත. 04 සහ 05 යන පන්තිවල දී ඉහත විෂයයන්ට අමතරව භූගෝල විද්‍යාව, ඉංග්‍රීසි ව්‍යාකරණ, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව සහ මැහුම් යන විෂයයන් උගන්වා ඇත.
1917 න් පසු යුගයන් පිළිබඳව සංක්ෂිප්ත සටහනක් පහතින් දක්වා ඇත.
- 1930 වන විට සිසුන් 177ක් අධ්‍යාපනය ලබා ඇති අතර, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයාගේ උපන් දිනය උත්සවශ්‍රීයෙන් සමරා ඇති බවට ද තොරතුරු වාර්තා වී ඇත.
- 1937 වර්ෂයේ දී සිසුන්ට දිවා ආහාරය ලබා දී ඇත. මෙමගින් ගම්බද දරුවන් පාසලට ගෙන්වා ගැනීමට උත්සාහ දරා ඇත.
- 1944 වර්ෂයේ ලෝක යුද්ධ සමයේ දී සිසුන්ගේ ආරක්ෂාව සඳහා ක්‍රම යොදා ඇති අතර බ්‍රිතාන්‍ය කොඩිය දෙතනගල කන්ද මුදුනේ යොදා ඇත.
- 1961 වර්ෂයේ දී මහා විද්‍යාලයක් බවට අධ්‍යාපන උප ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පවත්වා උසස්වීම් සිදු කර තිබේ.
- 1966 වර්ෂයේ දී අධ්‍යාපන ඇමති අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා පැමිණ නව ගොඩනැගිල්ලක් විවෘත කර තිබේ.
- 1970 වර්ෂයේ දී ගුරුවරුන් 13 ක් සිටි අතර 1979 වර්ෂය වන විට එම ගුරු සංඛ්‍යාව 21 ක් දක්වා වර්ධනය විය. මේ වන විට ළමුන් සංඛ්‍යාව 341 ක් වර්ධනය වී ඇත.
- 1978 ජුනි මස 06 දින සිට විදුහල්පතිවරයා වශයෙන් ශාස්ත්‍රවේදී බඹරකොටුවේ සුධර්මජෝති හිමිපාණන් වහන්සේ වැඩ භාර ගැනීමත් සමඟම විද්‍යාලයට වැදගත් කාලයක් උදා විය. එය විද්‍යාල ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස අදටත් සලකනු ලබයි.
- 2004 ද්වි භාෂා ඒකකය ආරම්භ කරමින් ඉංග්‍රීසි මාධ්‍ය සිසුන් සාමාන්‍ය පෙළට යොමු කරවීම.
- විද්‍යා අංශය ආරම්භ කිරීම (1989).
- 2014 වර්ෂයේ තාක්ෂණ ඒකකය ආරම්භ කරමින් තාක්ෂණ පීඨය ආරම්භ කිරීම.
- 2021 වර්ෂයේ සිට අඛණ්ඩ අධ්‍යාපන ඒකකය ආරම්භ කරමින් වෘත්තීය විෂය ධාරාව සිසුන්ට හඳුන්වා දීම.
ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් විද්‍යාලයේ භෞතික සම්පත් මෙන්ම මානව සම්පත් ද වර්ධනය වූ අතර අ.පො.ස (සා.පෙළ) සහ අ.පො.ස (උ.පෙළ) විභාග ප්‍රතිඵල ද වර්ධනය වෙමින් පළාතේ කීර්තිමත් පාසලක් බවට පත් වූ අතර, වර්තමානය වන විට එම කීර්තිනාමය සිරිලක පුරාම පතුරුවමින් පහන්ටැඹක් සේ බබළවමින් පවතී.
වර්තමානය වන විට විද්‍යාලයෙන් ඉතා දක්ෂ දරු පිරිසක් බිහි වී ඇති අතර හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා සහ වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා වැනි උසස් චරිත බිහි කිරීමට පාසලට හැකි වී තිබේ.
















